“කාන්තාවකට කළ නොහැක්කක් නොමැත.” යන වදන් පෙලට නැවුම් අරුතක් එක් කරමින් බර ඉසිලීමේ ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යාන්තර කෙලි බිම තුළද තම දස්කම් විදහා දක්වමින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු වල නිරත වන ඇය නමින් ශ්‍රීමාලි සමරකෝන්. ඇය සමඟ MoraSpirit අප සිදු කළ කතා බහේදි හුවමාරු කරගත් හරවත් වූ සුන්දර වදන් පෙළක් මෙසේ ඔබ හමුවේ ගෙන එන්නෙමු.
ශ්‍රී ලංකාව තුළ බර ඉසිලීම යනු තරුණියන් එතරම් යොමු නොවන ක්‍රීඩාවක් වන අතර මෙම ක්‍රීඩාව සදහා ඔබ මූලික අත්පොත් තැබුවේ කෙසේද?
මම ක්‍රීඩාව ආරම්භ කලේ මීට වසර 12කට පමණ පෙර මා පළමුව ඉගෙන ගත් හබරණ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි කාලයේ නදීක බණ්ඩාර ගුරුතුමා පාසලේ ක්‍රීඩා අතරට බර ඉසිලීම් ක්‍රීඩාව එක් කිරීමත් සමඟයි. බර ඉසිලීමේ ක්‍රීඩාව සඳහා අද වන විට ක්‍රීඩිකාවන් සැළකිය යුතු ප්‍රමාණයක් යොමු වී ඇති අතර පාසල්, ජාතික හා අන්තර්ජාතික මට්ටමේදීද ක්‍රිඩිකාවන් විශාල ප්‍රමාණයක් මෙම ක්‍රිඩාවේ නිරත වෙනවා.
2021 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියෙන් රන් පදක්කමක් දිනාගන්නා ඔබ, මෙවර 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහාද සුදුසුකම් ලබා ඇති අතර මෙම අවස්ථාව ඔබගේ ක්‍රිඩා දිවියේ වැදගත් සංධිස්ථානයක් බව නොඅනුමානයි. එම අත්දැකීම පිලිබද කෙටි විස්තරයක් ලබා දුන්නොත්...
මම 2021 පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේ දී රන් පදක්කමක් දිනා ගත්තේ 45kg බර පංතිය යටතේ තරඟ වදිමින්. ශරීරයේ බර 45kg ට අඩුවෙන් තබා ගත යුතු එම කාලය මාගේ ක්‍රීඩා ජීවිතයේ බොහෝ දුෂ්කර සහ අභියෝගාත්මක කාලයක්. නමුත් එම බර පංතියෙන් මාගේ උපරිම දක්ෂතාව පෙන්විමට හැකි වීම සම්බන්ධයෙන් මට ඇත්තෙ ඉතාමත් සතුටක්. 2019 වසරෙන් පසු මගේ බලාපොරොත්තුව වුණේ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියයි. 2022 දී සිංගප්පුරුවේ පැවති බර ඉසිලීමෙ ශූරතාවලියයේදි 49kg බර පංතිය යටතේ රන් පදක්කම ලබා ගනිමින් එම තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට මා හට හැකියාව ලැබුණා. එසේම 2015 දි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදි රිදී පදක්කමක් ජයග්‍රහණය කිරිමද මෙම තරඟාවලිය සඳහා සහභාගිවීමට මා තුළ අධිෂ්ඨානයක් ඇති කළ සුවිශේෂි සිදුවීමක්.
එතෙක් මෙතක් ඔබේ ක්‍රිඩා දිවියේ සිදුවූ අමතක නොවන සිදුවීම පිළිබඳ මතකය ආවර්ජනය කෙසේද?
වසර 12 ක පමණ මාගේ ක්‍රිඩා දිවිය තුළ අමතක නොවන සිදුවීම් රාශියක් තිබෙනවා. ඒ අතරින් සුවිශේෂිම සිදුවීම වූයේ 2021 දෙසැම්බර් මස උස්බකිස්තානයේදි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදි. තරඟාවලි දිනයේ උදෑසන ශරීරයේ බර 400g ක් අඩු කර ගැනීමට අවශ්‍ය වුණා. තරඟාවලියට පැය 2කට පෙර ශරීරයේ බර මැනීම ක්‍රීඩාවේ නීතියක්. එම බර ප්‍රමාණය අඩු කර ගැනීමට මට තිබුණේ ඉතාම කෙටි කාලයක්. බර අඩු කර ගැනීමට අවශ්‍ය පහසුකම් අප නැවතී සිටි හෝටලය තුළ ම සූදානම් කර තිබුණා. 16 වෙනි මහලේ තමයි අපිට අවශ්‍ය “sauna bath” එක සූදානම් කරලා තිබ්බේ. ඒක හරියට පෝරණුවක් ඇතුලේ ඉන්නව වගේ උණුසුම් තැනක්.
මිනිත්තු 10ක් පමණ එහි සිටි මම එළියට ඇවිත් වාඩි වුනා. මගේ අත පය හිර වීගෙන එන බව මට දැනුනා. මම ඉක්මනින්ම බෑගයේ තිබුණු dextrose එකක් ගෙන උගුරක් බීවා විතරයි මට මතක. නැවත ඇස් අරින විට මා සිටියේ බිම හාන්සි වෙලා. විදේශ ජාතිකයෙක් සමග මගේ පුහුණුකරු ඒ අසල මට පවන් ගසමින් සිටියා. පුහුණුකරු තුමා මගෙන් ඇහුවා "මගේ පුතා දැන් කොහොමද ඔයාට” කියලා. ඒ වන විට මට සිහිය ඇවිත් තිබුණෙ. මට ක්ලාන්ත තත්වයක් ඇතිවුණ බව ඒ මොහොතේ මට තේරුණා. හෝටලයෙන් බස් එක තරඟ පැවැත්වෙන තැනට යන වෙලාවත් හරි. එය බොහොම තීරණාත්මක අවස්ථාවක් වුණා. මගේ හිත හයිය කරගෙන මං පුහුණුකරු තුමාට කිවවා "මට අමාරු නෑ සර්. අපි යමු ඉක්මනින්" කියලා. අපි එන තුරු බලාගෙන සිටි අනිකුත් නිළධාරින් ද සමග තරග බිමට ගියේ කලබලකාරී මානසිකත්වයකින් යුතුවයි. එය මගේ ක්‍රීඩා ජිවිතය තුළ කිසිම දවසක අමතක නොවන සිදුවීමක්.
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහා ඔබගේ සූදානම සහ එම තරඟාවලිය සම්බන්ධව ඇති අභියෝග සහ ඔබට අභියෝග එල්ල කිරීමට සිටින ක්‍රීඩිකාවන් පිළිබඳ විස්තරයක් ලබා දුන්නොත්...
මගේ ජීවිතේ බොහෝ බාධක මැද ලබා ගත් ජයග්‍රහණයක් තමා මෙම තරඟාවලියට සුදුසුකම් ලැබීම. පසුගිය මාසයේ විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු සඳහා සහභාගි වීමට සිදුවූ නිසා බොහොම වෙහෙස මහන්සියෙන් පුහුණු වීම් වල නිරත වුනා. මේ දින වල මහනුවර - මාරතුගොඩ ප්‍රදේශයේ ඇති “Health Zone” ව්‍යායාම මධ්‍යස්ථනයේ නදීක බණ්ඩාර ගුරුතුමා යටතේ ඉතාමත් සාර්ථකව පුහුණුවීම් වල නිරත වෙනවා.
මා හට අභියොගයක් වන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සිටිනවා. ශ්‍රේණිගත කිරීම් අනුව මා මේ වන විට 8 වන ස්ථානයේ සිටින අතර කැනේඩියානු, මොරිෂස්, පැපුවා නොව්ගිනියානු, නයිජිරියා සහ ඉන්දියානු ක්‍රීඩිකාවන් මට අභියෝග කරමින් තරඟ වැදෙනවා. කෙසේ හෝ කරට කර සටනක් ලබාදී මව්බිමට කීර්තියක් අත් කරමින් මගෙ රටට කුමන හෝ පදක්කමක් දිනා දීමයි මගේ අරමුණ වෙන්නේ.
දැනටමත් 48kg බර පංතිය යටතේ ශ්‍රි ලාංකා වාර්තාව ඔබ සතුයි. මේ අවස්ථාව ඉදිරියේදි ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක සහ අධ්‍යාපන කටයුතු සමඟ ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යන ආකාරය පිළිබඳ කෙටි විස්තරක් ලබා දීමටයි.
45kg බර පංතිය සඳහා මම එකතු වෙන්නෙ 2018 දී. මෙම බර පංතිය යටතේ ඇති ජාතික වාර්තාවන් තුනම මා සතු වීම ඉතා සතුටට කරුණක්. මොකද 45 බර පංතිය කියන්නෙ බර ඉසිලීම් ක්‍රිඩාව තුළ තිබෙන බොහොම අභියෝගාත්මක බර පංතියක්. ඒ වගේම ශ්‍රී ලංකාව වැනි රටක පවතින විවිධ ආර්ථික අපහසුතා නිසා පෝෂන අවශ්‍යතා සපුරාගැනීම ලොකු අභියෝගයක්. ක්‍රිඩකයෙක්ට අත්‍යාවශ්‍යම දෙයක් වන නින්ද මාගෙ අධ්‍යාපන කටයුතු නිසා විටින් විට මඟ ඇරෙනවා. මේ සියලු අභියෝග මැද වුවත් සියල්ල සමබරව පවත්වා ගනිමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගෙ ඉදිරි බලාපොරොත්තු අතර විශාලම බලාපොරොත්තුව වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ දි පදක්කමක් මව්බිමට රැගෙන ඒමයි. ඒවගේම ඉදිරියේ පැවැත්වීමට ඇති සියලු ජාත්‍යාන්තර තරඟාවලි සඳහා සහභාගි වෙමින් 2024 ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා කැපවීමෙන් පුහුණු කටයුතු වල නිරත වෙනවා.
මම මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය යන උපාධිය හදාරමින් සිටිනවා. මාගේ විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන්ගේ සහ මගේ යහලු යෙහෙලියන්ගේ උපකාර මැද පුහුණුවීම් කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යනවා. එසේම මාගෙ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන විදියට මාගේ කායික හා මානසික වටපිටාවට ගැලපෙන විදියට මගේ ගුරුතුමන් මට පුහුණු කාලසටහන සකසා දෙනවා. සමහර දවස් වලට පුහුණු වීම් කරන්නෙ විශ්ව විද්‍යාලය තුළයි. ඒ දවස් වලට මට අවශ්‍ය විදියට විවේකය ලැබෙන්නෙ නැහැ. ඒ වගේ දවස් වලට සාමාන්‍ය workout එකක් කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථා වල මට කිසි බලපැමක් නොකිරීම මට මානසිකව ලොකු නිදහසක්. ඒ වගේම සමහර තරඟාවලි සඳහා සූදානම් වන විට සමහර විභාග මගහැරීම සිදුවෙනවා. ඒ වගේ අවස්ථා වල එම විභාග නැවත කිරීමට අවස්ථාවක් ලබා දෙමින් මා හට ශක්තියක් වන මුලු විශ්ව විද්‍යාල ප්‍රජාවම මේ මොහොතෙ මතක් කරන්න ඕනේ. එ වගේම විභාග වලට පෙර මගේ යාලුවෝ මට මඟ හැරුනු සෑම දෙයක්ම නිදි මරාගෙන කියලා දෙනවා. ඇත්තටම මේ වගේ පිරිසක් ලැබීම මගෙ වාසනාවක්. මොකද මේ ගමන මට තනියම යන්න බැහැ. මගේ පිටුපස සිට මට උදව් කරන ලොකු පිරිසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාට මාගෙ හදපිරි ස්තූතිය පුදකර සිටිනවා.
ඔබ මුහුණ දුන් අභියෝග සහ එම අභියෝග වලට මුහුණ දුන් ආකාරය කෙසේද? ඔබ, සමාජයට සහ ක්‍රීඩා කටයුතු වල නිරතවන බාල පරපුරට ලබා දෙන පණිවිඩය කුමක්ද?
ඉහත අවස්ථාවන් ට අමතරව මේ ගෙවුන කාලය තුළ මුහුණ දුන් අභියෝග එමටයි. මම හිතන්නෙ ජීවිතයට හැම දෙයක්ම ලැබිලා ඔහේ ජිවත් වෙනවට වඩා ජීවිතය ලස්සනයි බාධක, අභියෝග මැදින් සාර්ථකත්වය කරා යන එක. අපිට ජීවිතයේ සමහර දුෂ්කර කාලයන් එනවා. අපිට අවශය මානසික ශක්තිය හැමදාම තියෙනවා නම් අපි කවදාවත් කොතනදිවත් වැටෙන්නෙ නෑ. වැටුනත් නැගිටිනවා.
මම ක්‍රීඩාව තුළ මුහුණ දුන්න අභියෝග ටිකක් කියන්නම්...
මම බර ඉසිලීම් ක්‍රීඩාව ආරම්භ කලේ 6 වන ශ්‍රේණියේදි. ඒ වන විට පාසලේ තිබුණේ කාය වර්ධන ක්‍රීඩාව සදහා භාවිත කරන උපකරණ කට්ටලයක්. මගේ පුහුණුකරු හරිම නිර්මාණශීලී කෙනෙක්. අපිට අවශ්‍ය ක්‍රීඩා උපකරණ නොතිබුණත් පාසලේ ඉවත ඩෙස්, පුටු, වයිට් බෝඩ් වගේ දේවල් උපයෝගි කරගනිමින් ඔහු විවිධ වය්‍යාම උපකරණ නිර්මාණය කරමින් අපිව පුහුණු කරා. මම 2013 වෙනකොට ජාතික මහා ක්‍රීඩා උළලේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඒ නිමිත්තෙන් පෞද්ගලික ආයතනයකින් අප පාසලට කායවර්ධන ක්‍රීඩාව සඳහා යොදා ගන්නා 15kg bar එකක් සහ 50kg plates ලබා දුන්නා. එය යොදාගෙන පුහුණුවීම් කටයුතු සිදු කරමින් 2014 වසරේ මැද වන විට මම පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් සපුරාලීම මගෙ ජීවිතේ සංධිස්ථානයක්. 2015 වන විට මගේ ගුරුතුමා ස්ථාන මාරුවක් ලබමින් මහනුවර ප්‍රදේශයේ පාසලකට මාරුවීම නිසා මගේ පාසල් සමයද මහනුවර ප්‍රදේශයට මාරු වුනා.
අම්මගෙන් අප්පච්චිගෙන් දුරස් වෙලා මගේ පාසල් කටයුතු මට තනියම කරගන්න සිදුවුනා. 2015 දි මම පළමු ජාත්‍යාන්තර ජයග්‍රහණය ලබා ගන්නවා. එම වසරේදිම සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන මම සියලුම විෂයන් සම්මාන සමඟ සමත් වෙනවා. ඒ වගේම මහනුවර මහාමායා බාලික විද්‍යාලයෙන් උසස් පෙල හදාරා A සාමාර්ථ තුනක් සහිතව මම උසස් පෙළ සමත් වෙනවා. මේ සියලු කටයුතු සිදු උනත් මම මගෙ ක්‍රීඩාව අමතක කරන්නෙ නැහැ.
එසේම කොරානා වසංගත සමය සහ අප රටේ පවතින අර්බුදය විශාල අභියෝගයක් බවට පත් වුන අවස්ථා තිබුණා. පෝෂණය, සෞඛ්‍යය සහ ගමනාගමනය වගේ ගැටලු නිසා. පෝෂ්‍යදායි ආහාර වල මිල හැමදාම ඉහළ යනවා. සර්ට ඉන්ධන හිඟය නිසා තෙල් පෝලිම් වල ඉන්න වෙන නිසා පුහුණු වීම් සඳහා පැමිණීමට නොහැකි උනා. ඇත්තටම මේ කාලය අභියෝග මැද ජයග්‍රහණ සොයාගෙන යන කාලයක්.
මැයි මාසලේ විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු සඳහා යන්න එන්න සිදු වීම, ඒ වගේම පුහුණුවීම් කටයුතු කිරීම සමග අධ්‍යාපනය සමබර කර ගැනීම යන මේ කොටස් දෙක අතරට පැමිණෙන මානසික බාධක එමටයි. මගේ මව රෝගාතුර වීම මේ දින වල මට තවත් අභියෝගයක් වෙලා තියෙනවා.
මේ වගේ සියලු බාධක අභියෝග ජය ගනිමින් ගලා යන මේ ජීවිතය හරි සුන්දර, කටුක අත්දැකීම් තුළින් පරිපූර්ණ බව යම් දවසක ජීවිතය දෙස පසුපස හැරී බලන විට පෙනේ නම් මම සාර්ථකයි. එය මට වගේම මගේ පසුපසින් සිටින දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගේම මට උදව් උපකාර කළ සියලු දෙනාට සතුටක් ගෙන දෙනවා. මට සමාජයට ලබා දෙන්න තිබෙන පණිවිඩය තමා ආත්ම ශක්තිය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියන එක. බාධක අභියෝග ජීවිතයට අත්‍යාවශ්‍යයි. එතකොට තමා අපි අරමුණකට යන්නේ.
අවසාන වශයෙන් මගේ පෝෂණ අවශ්‍යතා සඳහා අනුග්‍රහය දක්වන දෙරණ ආයතනයටත්, Cargill’s ආයතනයටත්, මගේ පුහුණුවීම් කටයුතු නිරතුරුවම අධීක්ෂණය කරන නදීක බණ්ඩාර ගුරුතුමාටත්, බර ඉසිලීමේ සංගමයටත්, ජාතික ඔලිම්පික් කමිටුවටත්, මාගේ පුහුණුවීම් මධ්‍යස්ථානය අයත් පුජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන්, ලේකම් තුමිය ඇතුළු කාර්‍යාලය මණ්ඩලයටත්, පිටරට වල සිට මගේ ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට සහය වූ පිරිසක් සිටිනවා ඔවුන් නම් වශයෙන් සඳහන් නොකලත් ඔවුන් සියලු දෙනාටත්, මගේ දෙමාව්පියන්ටත්, මගේ විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, මගේ පාසල් වල විදුහල්පතුවරුන් ඇතුළු සියලු ම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත්, ආදිශිෂය සංගමයටත්, මගේ මිතුරන් සියලු දෙනාටත්, මගේ පවුලේ වගේම මගේ පුහුණුකරුගේ පවුලේ සියලු දෙනාටත්, නම් වශයෙන් සඳහන් නොකළත් මගේ මේ ගමනට වචනයකින් හෝ සහය දක්වන සියලුම දෙනාටත්, මගේ ගමනට බාධාවක් වෙමින් මා දිරිමත් කරන පිරිසක් සිටීනම් ඔවුන්ටත් මගේ හදපිරි ස්තූතිය පිරි නැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
......................................................................................................
මෙසේ ඇය සමඟ අප සිදු කළ ආදරණීය කතාබහේ නිමාව සනිටුවහන් කරන අතරම ක්‍රීඩාවේ අති දක්ෂයින් නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවේ ක්‍රියාත්මක නොකරමින් ක්‍රීඩාව සම්පූර්ණයෙන් අතහැර අධ්‍යාපනය පමණක් වැලඳ ගන්නා කාල වකවානුවක ක්‍රීඩාව මෙන්ම අධ්‍යපනයද සමබරව පවත්වා ගත හැකි බව පෙන්වීමට ශ්‍රීමාලි සොයුරිය කදිම නිදසුනක්. ඇය අප සමඟ බෙදාහදාගත් අත්දැකීම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යන ගමනටද මහඟු පිටුවහලක් උපකාරයක් වන බව නොඅනුමානයි. එසේනම් තමාගේ වටිනා කාලය කැප කරමින් අප සමග සංවාදයකට එක්වූ ඇයට ස්තූතිවන්ත වන අතරම ඇයගේ ක්‍රිඩා ජීවිතයේ සේම අධ්‍යාපන ජීවිතයේද ඇය දකින ඇය පතන සැම සිහිනයක් බලාපොරොත්තුවක්ම ඉටුවේවායි MoraSpirit අපි හදවතිම ප්‍රාර්ථනා කරමු.
Comments