බර්මින්ග්හැම් සංග්‍රාමයට සැරසෙන ශ්‍රී ලාංකීය ජුඩෝකා ශූරයෝ

බර්මින්ග්හැම් සංග්‍රාමයට සැරසෙන ශ්‍රී ලාංකීය ජුඩෝකා ශූරයෝ
Deshan Lakshitha MSP Editorial 2022-07-14 Birmingham Watch

2022 වසරේ පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම ක්‍රීඩා ඉසව්වන්ගෙන් එකක් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සමාරම්භයට තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණයි. මෙවර එම ක්‍රීඩා උළෙලේ ජූඩෝ ක්‍රීඩාවට සුවිශේෂී ස්ථානයක් හිමි වනු ඇත. ඊට හේතුව නම් අභිමානවත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ජූඩෝ ක්‍රීඩාව මූලික ක්‍රීඩා ඉසව්වක් වශයෙන් මෙවර නම් කොට තිබීමයි. මීට පෙර අවස්ථා තුනකදී ජූඩෝ ක්‍රීඩාව මෙම ක්‍රීඩා උළෙලට ඇතුලත්ව තිබුණද එය ප්‍රධාන ක්‍රීඩාවක් වශයෙන් නම් කොට නොතිබුණි. එබැවින් මෙවර ජූඩෝ ක්‍රීඩා ඉසව්ව පෙරට වඩා අවධානයක් යොමුවන තරඟකාරී ඉසව්වක් වන බව නොඅනුමානය. මේ සූදානම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරඟ වැදීමට නියමිත ක්‍රීඩකයින් තිදෙනෙක්ගෙන් හා එක් ක්‍රීඩිකාවකගෙන් සමන්විත වන ජුඩෝකා කණ්ඩායම පිළිබඳ සටහනක් ඔබ වෙත ගෙන ඒමටයි.


පිරිමි 73Kg බර පංතිය යටතේ තරඟ වැදීමට නියමිත ජාතික ජූඩෝ ශූර චාමර ධර්මවර්ධන, මෙවර කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැක. චාමර මේ වන විට ශ්‍රී ලාංකීය ජූඩෝ ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නාමයක් බවට පත්ව ඇත්තේ 73Kg බර පංතිය යටතේ ජාතික ජුඩෝ තරගාවලි ශූරතාවය පස් වතාවක් සහ ජාතික මහා ක්‍රීඩා උළෙලහිදී පිට පිට 9 වතාවක් ජාතික ජූඩෝ ශූරතාවය දිනා ගනිමිනි.


සුපුරුදු 73Kg බර පංතිය යටතේ සිය ජූඩෝ කුසලතා ජාත්‍යන්තර තලයටද සාර්ථකව මෙහෙයවන ඔහු 2016 ආසියානු ක්‍රීඩා උළලේදී රිදී පදක්කමක් දිනාගන්නා අතර 2019 දී එම ක්‍රීඩා උළෙලේදීම රන් පදක්කම ඉදිරියේ සිය නම සටහන් කිරීමට සමත්කම් දක්වනවා. 2014 වසරේදී චාමර තම මංගල පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ආගමනය නියෝජනය කරන අතර 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී සිය මංගල ඔලිම්පික් නියෝජනය සනිටුවහන් කරන්නේ තම ඉසව්වෙන් 9 වන ස්ථානය දිනා ගනිමිනි. එමෙන්ම 2020(21) ටෝකියෝ ඔලිම්පික් උළෙලද නියෝජනය කරන ඔහු එහිදී ශ්‍රී ලංකා ධජය දරන්නෙකු ලෙස එක්වීමද විශේෂත්වයකි. චාමර ධර්මවර්ධන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සමග එක් වන්නේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණ සහ අත්දැකීම් රාශියක් සමගිනි.


පිරිමි 81Kg බර පංතිය යටතේ මෙවර කණ්ඩායම සමග එක්වන රජිත නුවන්ප්‍රකාෂ පුෂ්පකුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන තවත් සුවිශේෂී දස්කම් සහිත ජුඩෝකා ක්‍රීඩකයෙකි. පිරිමි 81Kg ඉසව්ව යටතේ 2016 වසරේදී තායිලන්ත ජූඩෝ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගන්නා රජිත, එම ඉසව්වෙන්ම 2018 ආසියානු ක්‍රීඩා උළෙලද නියෝජනය කිරීමට සමත්වනවා. එමෙන්ම 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීම ඔහුගේ අන්තර්ජාතික ක්‍රීඩා ජයග්‍රහණ අතර සුවිශේෂී වේ.


මීට අමතරව පිරිමි 60Kg කාණ්ඩය යටතේ 2019 ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් වික්‍රම ප්‍රේමරත්න ද තම සුපුරුදු කාණ්ඩය යටතේ මෙවර කණ්ඩායම නියෝජනය කරන අතර කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය ලෙස තේරී පත්ව ඇති තරුණ ජුඩෝකා ක්‍රීඩිකාවක් වන චමිලා ඩිලානි මරප්පුලිගේ කාන්තා 48Kg බර පංතිය යටතේ තරඟ වැදීමට නියමිතය.

පොදු රද මඩුළු තරඟ බිමේ ජූඩෝ ක්‍රීඩාවේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුවහන් වන මෙවර තරඟාවලියේදි ජයාග්‍රාහී සිහිනය, අභිප්‍රාය සහිතව බර්මින්ග්හැම් නුවර බලා පිටත්වීමට නියමිත ජුඩෝකා කණ්ඩායමට MoraSpirit අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතරම ඔවුන්ගේ ජයග්‍රහණ හරහා ලක් මාතාව රනින් සරසනු දැකීම ක්‍රීඩාලෝලී අප සැමගේ ප්‍රාර්ථනයයි.


Want to keep in touch with ongoing university sports news?

SUBSCRIBE

to our email newsletter now.

Comments