SLUG 2023 උණුසුම මේ වන විට ශ්‍රී ලංකාව වටා විශ්ව විද්‍යාල පුරා ව්‍යාප්ත වී ඇත. තම තමන්ගේ විශ්ව විද්‍යාල සඳහා ඔල්වරසන් දීමට මුලු මහත් විශ්ව විද්‍යාල ප්‍රජාවම මේ වන විට ලක ලැහැස්ති වී ඇත. මෙම ක්‍රීඩා උළලේ බොහෝ දෙනාගේ අවධානය යොමු වන තවත් එක් ක්‍රීඩාවක් වන රග්බි, අවසන් මහා තරඟය හෙට එනම් අගෝස්තු මස 13 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර හමාරය. එවන් වකවානුවක අවසන් මහා තරඟයේ ක්‍රීඩා වැදීමට නියමිත අති දක්ෂ විශ්ව විද්‍යාල කණ්ඩායම් ද්විත්වයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් පිළිබඳ මෙම ලිපියෙන් ගෙන හැර පානු ඇත.
විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉතිහාසය තුළ තම නම රන් අකුරෙන් ලියා තැබීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එදා මෙන්ම අදත් සමත් වී සිටියි. ඒ අතුරින් රග්බි කණ්ඩායම සුවිශේෂි ස්ථානයක් අත්කරගෙන ඇත. මෙවරද ජනිත් සෙනවිරත්න ගේ නායකත්‍වයෙන් යුතු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පෙර සේම තම අනන්‍යතාව මූලික තරඟාවලිවල පටන්ම විදහා දැක්වීමට සමත් විය. තමාට මුණ ගැසෙන ප්‍රතිවාදි පිලට සෑම විටම අභියෝගයක් එල්ල කරමින් තමන්ට සුවිශේෂි වූ ක්‍රීඩා කුසලතා උපයෝගි කරගනිමින් ජපුර ක්‍රීඩකයින් රග්බි පිටිය පුරා තම අණසක පැතිරවීමට සෑම විටම සමත් විය.
මෙවර SLUG 2023 පිළිබඳ සලකා බැලුවහොත් පෙරසේම ඔවුන්ගේ නාමය පැතිරවීමට ඔවුනට හැකිවිය. ඉතිහාසයේ රග්බි විශ්ව විද්‍යාල කණ්ඩායමක් ලබා ගත් විශාලම ලකුණු ප්‍රමාණය වන ලකුණු 135 ක් ලබා ගනිමින් නැගෙනහිර විශ්ව විද්‍යාලය ලකුණු 135 ට 0 ක් ලෙස පරාජය කිරීමට ඔවුනට හැකිවිය. එසේම ලකුණු පුවරුවේ ලකුණු 62 ට 0 ක් ලෙස සටහන් කරමින් රුහුණු විශ්ව විද්‍යාලය පරාජය කිරීමටද අර්ධ අවසන් පූර්ව තරඟයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලකුණු ට 14 ට 07 ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය කිරීමටද ඔවුනට හැකිවිය. අවසන් පූර්ව තරඟයේදි කොළඹ විශ්ව විද්‍යාලයටද කරට කර සටනක් දෙමින් ලකුණු 10 ට 08 ක් ලෙස සටහන් කරමින් ජයග්‍රහණට කිරීමටද ඔවුන් සමත් විය. එසේම සබරගමුව විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ SABRA සත් සාමාජික රග්බි ශූරතාව - 2022 තරඟාවලියේ දී ශූරතාව ලබා ගැනීමටද ඔවුනට හැකි විය. එමෙන්ම අන්තර් විශ්ව විද්‍යාල - 2022 ක්‍රීඩා තරඟාවලියේ දී අනුශූරතාව ඉදිරියේ තම නාමය සනිටුහන් කිරීමටද ඔවුන් සමත් විය.
කැළණිය විශ්ව විද්‍යාලයත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රිඩා ඉතිහාසයේ නොමැකෙන අවස්ථා සනිටුහන් කරන ලද විශ්ව විද්‍යාලයක් වන අතර සෑමවිටම පාහේ ජයග්‍රහණය ඉද්‍රිරියේ තම නාමය සනිටුහන් කිරීමට සමත් වූ රග්බි කණ්ඩායමක් කැළණිය විශ්ව විද්‍යාලය සතුව ඇත. ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩා සටන් ක්‍රම උපයෝගි කරගනිමින් ක්‍රීඩා පිටීයේ තම දක්ෂතා විදහා දක්වන කැළණිය විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම කාගෙත් අවධානය ලබා ගත් කණ්ඩායමකි.
විශ්ව විමුක්තිගේ නායකත්වයෙන් යුතුව මෙවර SLUG 2023 ට සහභාගි වූ කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම මූලික වටයේ සිට අවසන් පූර්ව තරඟය තෙක්ම තම අණසක ක්‍රීඩා පිටියේ විදහා දැක්වීමට සමත් විය. එහිදී වයඹ විශ්ව විද්‍යාල සමඟ පැවති තරඟයේදි ලකුණු 43 ට 3 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් ආරම්භ කර සටන යාපනය විශ්ව විද්‍යාලය ලකුණු 59 ට 0 ක් ලෙස පරාජය කරමින් ද අනතුරුව සබරගමුව විශ්ව විද්‍යාලය ලකුණු 14 ට 8 ක් ලෙස පරාජය කරමින්ද අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔවුන් සමත් විය. අවසන් පූර්ව තරඟයේදි මොරටුව විශ්ව විද්‍යාල හට අභියෝග පිට අභියෝග එල්ල කරමින් ලකුණු 24 ට 10 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. SLUG 2023 ක්‍රීඩා පිටියේ පමණක් නොව අන්තර් විශ්ව විද්‍යාල - 2022 ක්‍රීඩා පිටියේදීත් ඔවුන් ඔවුන්ගේ නාමය සනිටුහන් කිරීමට සමත් විය. ඒ අන්තර් විශ්ව විද්‍යාල - 2022 ක්‍රීඩා තරඟාවලියේදී ශූරතාව ඉදිරියේ තම නාමය සටහන් කිරීමෙනි.
සුවිශේෂිත්වයක් වන්නේ අන්තර් විශ්ව විද්‍යාල - 2022 ක්‍රීඩා තරඟාවලියේ හිදී රග්බි ශූරතාව ලබා ගත් කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ අනුශූරතාව ලබා ගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම මෙවර SLUG 2023 දිත් අවසන් මහා තරඟයේදි තරඟ වැදීමට නියමිත වීමයි. දක්ෂයින්ගෙත් අති දක්ෂයින් මුහුණට මුහුණ මුණ ගැසෙන ඒ අවසන් මහා තරඟයට තවත් ඇත්තේ හෝරා කිහිපයකි. එසේනම් කණ්ඩායම් ද්විත්වයටම තම හැකියා කෙලිබිමේ විදහා දක්වමින් ජයග්‍රහණය වෙත යාමට MoraSpirit අපේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.
Comments