SLUG 2023, ක්‍රිකට් අවසන් පූර්ව වටයේ තරග ඊයේ හා අද දින (12,13) පැවැත්වුණි. අවසන් පූර්ව වටයේ පලමු තරගය ඊයේ දින (12) කොළඹ විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර පැවැත් වූ අතර කොළඹ විශ්ව විද්‍යාලය එම තරගය ජයග්‍රහණය කරමින් SLUG 2023 ක්‍රිකට් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර 49 පන්දු 5 ක් තුළ සියල්ලන් දැවී ලකුණු 169 රැස් කීරීමට සමත් විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් චංග ජානුක පන්දු 58 තුළ ලකුණු 48 ක් රැස් කරමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඊට හතරේ පහර 5 ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් හට සාර්ථක ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයීය පන්දු යවන්නන් ඉඩක් ලබා නොදුන් අතර කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් රුවින් සෙනෙවිරත්න ලකුණු 39 ට කඩුලු 3 ක් දවා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉනිමට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. මීට අමතරව පසිදු සචින්ත හා රසන්ජන අරවින්ද පිළිවෙලින් 13/2 හා 20/2 වශයෙන් කොලඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු දවා ගැනීමට සමත් විය.
ලකුණු 167 ක ඉලක්කය හඹා ගිය කොළඹ විශ්ව විද්‍යාලයීය කණඩායම පන්දුවාර 34 පන්දු 3 ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී ලකුණු 169 ලබා ගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය පරාජයට පත් කරමින් SLUG 2023 ක්‍රිකට් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පලමු කණ්ඩායම බවට පත් විය.
මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් පුබුදු බණ්ඩාර පන්දු 69 කින් ලකුණු 58 ක් රැස් කරන්නට සමත් වූ අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් විය. පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවටද පත් වුයේ ඔහුයි. මීට අමතරව වසන්තන් ජතුෂන් කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් ලකුණු 36 ක් රැස් කරන්නට සමත් විය.
අවසන් පූර්ව වටයේ දෙවන තරගය මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අද දින (13) පැවැත්වුණු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මොරටුව විශ්ව විද්‍යාලය පරදවා කඩුලු 6 ක ජයක් ලැබීය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පලමුවෙන් පන්දුවට පහර දුන් මොරටුව විශ්ව විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 172 ක් රැස් කලේය.
මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් ගවින් බොතේජු ලකුණු 55 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 5 ක් ඇතුළත් විය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ඔහුයි. මීට අමතරව ප්‍රබෝධ වනිගසිංහ ලකුණු 40 ක්ද බෙහාන් ඉනුක ලකුණු 23 ක් මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් රැස් කළ අතර අනෙකුත් පිතිකරුවන් හට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කල අසෙල් සිගේරා හා කසුන් රොද්‍රිගෝ පිළිවෙලින් 52/3 හා 24/3 ලෙස කඩුලු දවා ගනිමින් මොරටු විශ්ව විද්‍යාල පිතිකරුවන් හට විශාල පීඩනයක් එල්ල කීරීමට සමත් විය.
ලකුණු 172 ක ඉලක්කය පන්දුවාර 37 පන්දු 4 තුළ පහසුවෙන් සපුරා ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වුයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම් නායක අසෙල් සිගේරා ශතකයක් වාර්තා කරන්නට සමත් වූ අතර ඔහු නොදැවී පන්දු 91 කට ලකුණු 101 ලබා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසෙල් සිගේරාගේ ඉනිම හතරේ පහර 8 ක් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. එසේම අසෙල් සිගේරා සමග එක්වූ කවිදු එදිරිවීර පිලිතුරු ඉනිමේ 4 වන කඩුල්ලට ලකුණු 151ක දැවැන්ත සබදතාවක් ගොඩ නගා ගැනීමට සමත් වූ අතර කවිදු තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 44 ක් රැස් කරන්නට සමත්විය. පන්දු යැවීමේදී මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් කසුන් බණ්ඩාර ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.
ඒ අනුව SLUG 2023, ක්‍රිකට් අවසන් පූර්ව තරග මෙලෙස නිමා වූ අතර කොළඹ විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ක්‍රිකට් අවසන් මහා තරගයට මෙසේ සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසන් මහා තරගට තේරී පත් වූ කණ්ඩායම් ද්විත්වයටම උණුසුම් සුබපැතුම් ගෙන එන මේ මොහොතේ උද්වේගකර අවසන් මහා තරගයක ආස්වාදය විදින්නට ක්‍රිඩා ලෝලි ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
Comments