බාධක මතින් ඉගිළ යන ශ්‍රී ලාංකික ශූරිය - නිලානි රත්නායක

බාධක මතින් ඉගිළ යන ශ්‍රී ලාංකික ශූරිය - නිලානි රත්නායක
Dasuni De Silva MSP Editorial 2022-07-12 Birmingham Watch

ඉදිරි කාලය ක්‍රීඩාලෝලීන්ට ඉතා උත්කර්ෂවත් කාලයක් වන බව නිසැක ය. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන පහළොස් වෙනිදා ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙම මස අවසානයේ ද ආරම්භ වේ. මෙම සටහන එම තරගාවලි වල දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටින බාධක දිවීමේ ශ්‍රී ලංකා ශූරිය නිලානි රත්නායක පිළිබඳවයි.


1990 අගෝස්තු 08 වන දින උපත ලැබූ නිලානි රත්නායක පාසල් කාලයේ දී ම ක්‍රීඩාවට අත්පොත් තැබූවෙකි. පාසල් කාලයේ ඇයගේ ඉසව්ව වූයේ මීටර් දෙදහස බාධක දිවීමය. ඉන් පසුව ද තම ක්‍රීඩා දිවිය ඉදිරියට පවත්වා ගෙන යන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සාඩම්බර සාමාජිකාවකි.


නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර තරගාවලි වලිනි ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය. මේ අතරින් 2019 වසරේ දී ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හතර වන ස්ථානය ද, 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ 6 වැනි ස්ථානය දිනා ගැනීමට හැකි වීම කැපී පෙනේ. එසේම 2015 වසරේ සිට අඛණ්ඩව ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ හා ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට කර ගැනීමට ඇයට හැකියාව ලැබිණි. මීට අමතරව මීටර් 1500 සහ මීටර් 5000 ධාවන ඉසව් ද නියෝජනය කරමින් ඇය ජයග්‍රහණ ලබාගෙන ඇත. ඒ අතරින් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 1500 හා මීටර් 5000 කාන්තා ධාවන ඉසව් වල රන් පදක්කම දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි. ඇය 2019 වසරේ දී පිහිට වූ ජාතික වාර්තාව නැවත අලුත් කරමින් මිනිත්තු 9:40.24 ක කාලයක් වාර්තා කරමින් තමන් ජාතික බාධක දිවීමේ ශූරිය බව නැවත වරක් තහවුරු කිරීමට ඇයට මෙම වසරේ දී හැකියාව ලැබුණි.


2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ද සහභාගී වී සහභාගි වී ලක් මවට කීර්තියක් ලබා දීමේ සිහිනය සිහිනයක් පමණක් නොවන්නට ඇප කැප වෙමින් සිටිය දී සිදු වූ ඇතැම් බාධා හේතුවෙන් එයට සහභාගි වීමේ අවස්ථාව ඇගෙන් ගිලිහී ගියේ ය. එම සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා එයට සහභාගි වීමට ලැබුණු තරගාවලි ගණන සීමා විය. එහෙත් ඇයට ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාවක් පැවතුණි. නමුත් අවසානයේ දී පැවති ජාතික තෝරා ගැනීමේ තරගවල දී තරග සංවිධානයේ දී සිදු වූ යම් අඩුපාඩු නිසා ඇයට එහි දී බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නො හැකි වූ බව නොරහසකි. එම නිසා ඇයට එම වසරේ දී ඇයගේ පළමු ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව නොලැබුණි.


එම අනේකවිධ බාධා වලින් නො සැලුණු ඇය එළඹෙන පොදු රද මඬුලු හා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමට සූදානමින් සිටී. ඇයගේ බලාපොරොත්තු සාර්ථක වී ලක් මවට කීර්තියක් එක් කිරීමට ලැබේවා යැයි MoraSpirit අප සියලු ලක් වැසියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.



Want to keep in touch with ongoing university sports news?

SUBSCRIBE

to our email newsletter now.

Comments