පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ

පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ
Dulsara Gimhana MSP Editorial 2022-07-01 Birmingham Watch

හිරු නොබසින අධිරාජ්‍යය කේන්ද්‍ර කරගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ වසරේ ජූලි මස 28 වන දින සිට අගෝස්තු මස 8 වන දින දක්වා එංගලන්තයේ බර්මින්ග්හැම් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ සුදුසුකම් සපුරාලන පසුබිමක අපගේ මේ ලිපිය සබැඳෙන්නේ ඒ අතරින් මෑත කාලයේ ඔබ අප සැමගේ ගෞරවාදරයට පත්වූ කෙටි මැදි දුර ධාවන ශූර කාලිංග කුමාරගේ සමගයි.

 

1992 සැප්තැම්බර් මස 25 වන දින ගම්පහදී මෙලොව එළිය දුටු කාලිංග හේවා කුමාරගේ අද වන විට ලාංකේය මීටර් 400ජාතික ශූරයා බවට ජය කෙහෙළි නංවා අවසානයි. මේ සටහන හරහා අපි ඔහුගේ ක්‍රීඩා දිවියේ මේ දක්වා ලබාගත් ජයග්‍රහණ ගැන කෙටියෙන් සාකච්ඡා කරමු.

 

කාලිංග කුමාරගේ මේ වනවිට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසකම හිමිකරුවෙකු බවට පත්වී අවසානයි. 2017 සහ 2018 වසරවල ජාතික ක්‍රීඩා උළෙල වලදී මීටර් 400 දිවීම සඳහා රන් පදක්කම දිනාගන්නා කාලිංග 2018දී වාර්තා කරන ලද කාලය තත්පර 45.99ක්. ඉන් නොනැවතුණු ඔහු 2020 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200 සහ 400 ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනාගනු ලබනවා. 2021 සහ 2022 වසර වලදීත් මීටර් 400 ඉසව්වේ තම ආධිපත්‍යය පතුරුවාලන ඔහු මීටර් 400 ජාතික ශූරයා ලෙස පිට පිට තෙවන වසරත් පිදුම් ලබනවා. කාලිංග තම පළමු ජාත්‍යන්තර තරග ජය සනිටුහන් කරන්නේ 2016 දකුණු ආසියානු 400x4 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමිනුයි. 2017 ආසියානු ශූරතා මළල ක්‍රීඩා උළෙලේදීත් 400x4 සහය දිවීමේ රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඔහු තම ක්‍රීඩා දිවියේ මෙතෙක් වටිනාම ජයග්‍රහණය 2021දී වාර්තා කරනවා. 2021 ඉන්දියාවේ පටිලා හිදී පැවති 60වන අන්තර්කලාප මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400ඉසව්වේදී ඔහු තත්පර 45.73ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගනු ලබනවා. මෙම කාලය අනුව ශ්‍රී ලාංකික මීටර් 400 ඉසව්වේ එතෙක් මෙතෙක් හොඳම සිව්වන කාලය හිමි ක්‍රීඩකයා බවට ඔහු පත්වන්නේ එම ඉසව්වේ පතාකයින් වන සුගත් තිලකරත්න, ප්‍රසන්න සම්පත් අමරසේකර සහ රොහාන් ප්‍රදීප් කුමාරට පමණක් පසුපස සිටිමිනුයි. එලෙසම 2022 වසරේ ජූනි මස ස්විට්සර්ලන්තයේ පැවති IAAF ලෝකඩ මට්ටමේ ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ඔහු මීටර් 400 ඉසව්ව සඳහා තත්පර 46.42ක දක්ෂතාවයක් දක්වමින් එහි හයවන ස්ථානය දිනාගනු ලැබුවා. මෙලෙස දැක්වූ දක්ෂතා සහ කාල ගණනයන්ට අනුව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට කාලිංග සමත්කම් දක්වනවා.

 

මෙම සුවිශේෂී ක්‍රීඩකයාගේ ගමනට සහය වී ඔහුගේ ජයග්‍රහණ සඳහා මහත් කැපවීමක් කළ ඔහුගේ පවුලේ සැමදෙනා සහ පාසල් සමයේ පටන් මේ දක්වා ඔහුගේ පුහුණුකරුවන් සියලු දෙනා මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස දැක්විය හැකියි. කාලිංග දැනට විමුක්ති ද සොයිසා මහතා යටතේ පුහුණුවීම් සිදුකරනවා. ජාතික ක්‍රීඩා තරගවලදී කාලිංග ශ්‍රී ලංකා යුධ හමුදාවට අනුබද්ධව ක්‍රීඩා කටයුතු සිදු කරනු ලබනවා.

 

 

අවසාන වශයෙන් ක්‍රීඩාවට ලැදි සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේත් Moraspirit අප සැමගේත් බලාපොරොත්තුව වන්නේ කාලිංගගේ සියලු බලාපොරොත්තු සාර්ථක කරගෙන ලක්මව පොදුරද මඩුළු පදක්කමකින් සැරසීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා යන්නයි. කාලිංග ඔබට අප සැම හදවතින්ම ජය පතමු..

 

(තොරතුරු අන්තර්ජාලයෙනි)


Want to keep in touch with ongoing university sports news?

SUBSCRIBE

to our email newsletter now.

Comments